නිර්මාණකරුවනි ඔබත් එන්න

බ්ලොග් නොලියන නිර්මාණ කරන ඔබටයි මේ ආරාදනය. ඔබේ නිර්මාණයත් ahasenenna@gmail.com වෙත එවන්න. නිසැකවම ඔබටත් ඉඩක් ලැබෙනු ඇත. ඔබේ කවි, කතා, ලිපි ඇතුලු ඕනෑම නිර්මාණයක් බාර ගනු ලැබේ.
ස්තුතී
කසුන් නයනජිත්

18 May, 2016

සඳසාවී මා...

කවුලුවෙන් පේන රෑ අහස ඇත්තටම ලස්සනයි
තාරකා මල් යායක් මැද්දේ
ලස්සනට පුරා හඳක් පායලා
අහසට තනි නෑ
පුරා හඳ අහස මැද්දෙන්ම
තාරකා මල් වලට තනි නෑ
තරු මල් රෑණක් ඉන්නවා වටේටම
හඳටත් තනි නෑ
සාවියෙක් හැන්ගිලා තුරුල්ලෙම
ආසයි වෙන්න තිබුනානම්
කලා පිරුනු හඳක් මැද්දේ ආදරේ විඳින සාවියෙක්
තරු රෑණක් මැද්දේ හුරතලෙන් ඉන්න පුන්චි තරුවක්
මේ හැමදේම මැද්දෙන් නිල් අහසක් පුරාවට ආදරේ බෙදන සඳවතක්
හීන නම් දුරයි
එත් කවදා හරි හැබෑ වෙනවා සත්තයි
ඔය අහස මැද්දේ ගුලිවෙලා
තරු රෑණක් වටකරන්
හිනාවෙන්න තිබුනානම් හැමදාටම
ජීවිතේ විඳින්න පුලුවන් බව
මටත් දැනේවි...එදාට....
මම,
මිනෝලි

සටහන: මිනෝලි ලියනාරච්චි

25 March, 2016

මනමේ කුමරියගේ පාපොච්චාරණය





වනේ වන සතුරෙකුට කිසි දින නොවේවා මා විඳි දුක,
අනේ මනමේ කුමරු මැරුවයි මා කලා හැම දෙන සැක,
බනේ කියනා මිනිස් මුවඟට නැගෙන නින්දා වදනක,
මගේ අසරනකම නොගෑවී ඇයිද අවමන් දී දුක,

මා පියාණන් මගෙ හදවත මිනිස් කමිනුත් පුරවලා,
රුවින් අගතැන් මගේ මනස ද නුවණින් ද අග තැන් කලා,
රූසිරින් යුතු දනුදර වූ කුමරු සරණෙහි පාවලා,
පිටත් කෙරුවේ සැප විඳින්නයි අප දෙදෙන බරනැස බලා,

මෙතෙක් කලකට දෙමව්පියනගෙ සෙනෙහසින් ඈතට නොවී,
මනස සසලයි නුහුරු ලොවකට පිය නැගුව බව මතක් වී,
කුමරු දනුදර සෑම මොහොතක මගේ ලඟ හිඳ නොසෙල්වී,
සසල මනසට නුරා පෙම් රස මට ගෙනාවා තුරුල් වී,

තේජසින් නම් සැබෑවකි ඔහු පුරුෂයෙකි එඩිබල ඇති,
දඩ මසින් පිර වූ කදකි ලඟ වැද්දෙකිය රුචියක් නැති,
මගේ දනුදර කුමරු අබියස වන සතෙකි ඔහු එඩි නැති,
ඉදින් මස් වැද්දෙකුට මා හද පුදනු කුමට ද සිත  නැති.

උගේ එඩි බල නොමැති කලකදි මගෙන් අසිපත උදුරලා,
නොදේ ඉහිලුම් මගේ කුමරුගෙ කඳෙන් හිස  ඔහු වෙන් කලා,
ඉදින් නුඹලා චපල ගැහැණියකයැයි මට දොස් පවරලා,
මුළු ලොවට කෑගසා සැනෙකින් මට හුඟක් අවමන් කලා,

නිර්මාණය: ඉෂානි ප්‍රදීපිකා

23 December, 2015

සරසවි සැමරුම්



නා මලින් ගැවසි ගත් සුවඳ පිරි ගස් සෙවන
තවම මතකයි දුටුව මල් පාර පෙම් බඳින
බරනැසළු නිරිඳුන්ට රජ සැපත ගෙන දුන්න‍
සරසවිය මතක පොත විතරක් ද මා දකින

බිය වැදී හෙමි හෙමින් නැගූ පා ලකුනු මත
ඇඳී ඇත සොඳුරු සිතුවම් මව මවා දසත
සෙවන කස ගස් යටදි කඳුළු දුන් වදන් නෙත
සිනා රැල් ඇඳෙන්නේ අදයි සොයුරනි මසිත

හුදෙකලා ලෝකයක තනි වෙන්න කිසිම විට
නොදී බත්පතෙහි රස විඳ බැලූවෙත් එකට
කාක්කන් ඉගිල ආ දිනේදී අප වෙතට
සැප දැනුනි හැර දැමූ  දිවි ගෙවූ පියස යට

කෙසඟ සිරුරෙහි ලකුණු මනින්නට මිමි නැතී
ඤාන ගබඩාව  තුළ දිය උනා සවි ගතී
දෙසුම්හල පිටිපසම පේලියේ දඟ ඇතී
අපි එක්ව අකුරු කල කොලත් දිය වී ඇතී

හන්තාන කඳු පෙලේ විඳ ගත්ත සෝ සුසුම්
අදත් මතකයි නේද අපි ගත්ත ඒ දිනුම්
කෑගසා කියන්නට නොහැකි මුත් මිතුරු දම්
මතක පොත පෙරලනා විට දැනෙයි ඒ විකුම්

ගෙවී වසරින් වසර යාත්‍රා පැමිණිලා
සාගරේ කෙලවරට අපිත් ඇත පා වෙලා
වෙහෙස වී සදා ගත් කෙම්බිමට ගොඩ වෙලා
අවසරයි මට යන්න කඳුළුවැල් සඟවලා!!!

නිර්මාණය: ඉෂානි ප්‍රදීපිකා රනසිංහ

10 December, 2015

ඈතක ගියද



තුන් තිස් පැයේ ඇඬු කඳුළැලි….. වියලෙන්න
සිත් මංහලේ නැවතුණු බව ….......සිහිවන්න
ලත් සෙනෙහසේ හිමිකම මට …... පවරන්න 
හිත් මන්දිරේ සදහට ඔබ........... නවතින්න
පායන සඳේ අයිතිය කවුරුද ......ගන්නේ
මීදුමෙ සුදේ තැවරුම නැහැ නොව දෙන්නේ
සායම මලේ පැවරුම නැත හිමි ......වන්නේ
මා ගැන සෙනේ කවදද ඔබෙ අඩු වෙන්නේ
ඈතක ගියද මා ඉඳ හිට සිහි......... කරලා
දෝතක කවිද පා කර දෙනවද ......ලියලා
මේකුළු මතම මා ලමි පණිවිඩ ...... හදලා
මෑතක පැමිණ මා හමුවෙනවද .... රැකලා

ප්‍රියන්ති හන්සමාලි

24 October, 2015

ආදරයේ තවත් එක කතාවක්....



ඉස්සර වාගේ තුරුලේ ඉන්නට
අවසර නැතිමුත් ලොවට හොරෙන්
ඉස්සර වාගේ මා හමුවන්නට
නාවත් හිනැහී ආදරයෙන්
තාමත් මතකයිහිනැහුනු ඔය ඇස්
සෙනෙහස පුරවන් පොකුරු පිටින්
ඉඩ දෙනවාදෝ ඔබේම වෙන්නට
ඔය උනුහුම ලඟ එක මොහොතක්...
එය මට මුලු අහසක්...
ඉස්සර දවසක උනුසුම විද විද
ආදර ලොවකට පාර කියූ
සුන්දර සිහිනය ආයෙත් විඳිනට
එන්න යලිත් මා ලඟට කියූ
පෙම්බර ඔබ හැර වෙන අන් සිතකට
කිසිවිටෙකත් සිත වසඟ නොවූ
පින්බර දවසක ඔබෙ අත අරගමි
පෙම්බර විලසට සිහින මැවූ...
හීන දිගන්තය අද්දර ඉඳගෙන
ඔය නිල් නෙතු යුග දිහා බලන්
ඔය තුරුලේ සැතපී නැලවෙන්නට ආසයි
ඔය පපුතුර මගෙ මුහුන හොවන්
එන්නම් දිනයක ලස්සන උදයක
අලුත් ඉරක් යට ආදරයෙන්
අවසර දෙනුමැන ඔබේම වන්නට
මතු උපදින සැම බවයකමත්...


ජීවිතේ එක සුන්දර දවසක ආදරෙන් බැඳෙන මේ දෙන්නට අහේතුක හේතුවක් හින්දා වෙන්වෙන්න සිද්ද වෙන්නේ ඒ දෙන්නාවත් නොහිතපු විදිහට.දෛවය අපේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා තමයි, ඒත් හැම වෙලවෙම අසාධාරන වෙන්නෙත් නෑ. කාලය ගෙවිලා ගියාට පස්සේ මේ දෙන්නා ආපහු මුනගැහෙනවා. දෛවයේ තවත් සරදමක් හින්දාද කොහෙදෝ මේ වෙද්දිත්මේ දෙන්නාම තනිකඩයි. ඒත් මේ දෙන්නා ඒක දැනගෙන හිටියේ නෑ එතකොටත්. දෙන්නා දෙපැත්තකට වෙලා කල්පනා කරනවා. ගොඩක් අහින්සක විදිහට මේ ගෑණු ළමයා මේ මුල් වචන ටික ලියලා යවනවා පරණ ආදරේ ගැන මතක් කරලා.

ඉස්සර වාගේ තුරුලේ ඉන්නට
අවසර නැතිමුත් ලොවට හොරෙන්
ඉස්සර වාගේ මා හමුවන්නට
නාවත් හිනැහී ආදරයෙන්
තාමත් මතකයිහිනැහුනු ඔය ඇස්
සෙනෙහස පුරවන් පොකුරු පිටින්
ඉඩ දෙනවාදෝ ඔබේම වෙන්නට
ඔය උනුහුම ලඟ එක මොහොතක්...
එය මට මුලු අහසක්...

 එතකොට තමයි පිරිමි ලමයාටත් තේරුම් යන්නේ එයාලගේ ජීවිත කොයි තරම් වෙනස් වුනත් තාමත් ඒ දෙන්නාගේ ආදරේ නැවුම් කියලා. ගෑණු ළමයට උත්තරයක් විදිහට එයා මේ දෙවනි කවිය ලියලා එවනවා.

ඉස්සර දවසක උනුසුම විද විද
ආදර ලොවකට පාර කියූ
සුන්දර සිහිනය ආයෙත් විඳිනට
එන්න යලිත් මා ලඟට කියූ
පෙම්බර ඔබ හැර වෙන අන් සිතකට
කිසිවිටෙකත් සිත වසඟ නොවූ
පින්බර දවසක ඔබෙ අත අරගමි
පෙම්බර විලසට සිහින මැවූ...

කතාවේ ඉතුරු ටික ඔයාලටම හිතාගන්න පුලුවන් කියලා මම හිතනවා...

හීන දිගන්තය අද්දර ඉඳගෙන
ඔය නිල් නෙතු යුග දිහා බලන්
ඔය තුරුලේ සැතපී නැලවෙන්නට ආසයි
ඔය පපුතුර මගෙ මුහුන හොවන්
එන්නම් දිනයක ලස්සන උදයක
අලුත් ඉරක් යට ආදරයෙන්
අවසර දෙනුමැන ඔබේම වන්නට
මතු උපදින සැම බවයකමත්...

ඇත්ත, ආදරේ සුන්දරයි, ඇත්ත ආදරේ කවදාවත් නැතිවෙන්නෙත් නෑ. නැති කරවන්නත් බෑ.... 

රචනය:  මිනෝලි ලියනාරච්චි