නිර්මාණකරුවනි ඔබත් එන්න

බ්ලොග් නොලියන නිර්මාණ කරන ඔබටයි මේ ආරාදනය. ඔබේ නිර්මාණයත් ahasenenna@gmail.com වෙත එවන්න. නිසැකවම ඔබටත් ඉඩක් ලැබෙනු ඇත. ඔබේ කවි, කතා, ලිපි ඇතුලු ඕනෑම නිර්මාණයක් බාර ගනු ලැබේ.
ස්තුතී
කසුන් නයනජිත්

23 December, 2015

සරසවි සැමරුම්



නා මලින් ගැවසි ගත් සුවඳ පිරි ගස් සෙවන
තවම මතකයි දුටුව මල් පාර පෙම් බඳින
බරනැසළු නිරිඳුන්ට රජ සැපත ගෙන දුන්න‍
සරසවිය මතක පොත විතරක් ද මා දකින

බිය වැදී හෙමි හෙමින් නැගූ පා ලකුනු මත
ඇඳී ඇත සොඳුරු සිතුවම් මව මවා දසත
සෙවන කස ගස් යටදි කඳුළු දුන් වදන් නෙත
සිනා රැල් ඇඳෙන්නේ අදයි සොයුරනි මසිත

හුදෙකලා ලෝකයක තනි වෙන්න කිසිම විට
නොදී බත්පතෙහි රස විඳ බැලූවෙත් එකට
කාක්කන් ඉගිල ආ දිනේදී අප වෙතට
සැප දැනුනි හැර දැමූ  දිවි ගෙවූ පියස යට

කෙසඟ සිරුරෙහි ලකුණු මනින්නට මිමි නැතී
ඤාන ගබඩාව  තුළ දිය උනා සවි ගතී
දෙසුම්හල පිටිපසම පේලියේ දඟ ඇතී
අපි එක්ව අකුරු කල කොලත් දිය වී ඇතී

හන්තාන කඳු පෙලේ විඳ ගත්ත සෝ සුසුම්
අදත් මතකයි නේද අපි ගත්ත ඒ දිනුම්
කෑගසා කියන්නට නොහැකි මුත් මිතුරු දම්
මතක පොත පෙරලනා විට දැනෙයි ඒ විකුම්

ගෙවී වසරින් වසර යාත්‍රා පැමිණිලා
සාගරේ කෙලවරට අපිත් ඇත පා වෙලා
වෙහෙස වී සදා ගත් කෙම්බිමට ගොඩ වෙලා
අවසරයි මට යන්න කඳුළුවැල් සඟවලා!!!

නිර්මාණය: ඉෂානි ප්‍රදීපිකා රනසිංහ

10 December, 2015

ඈතක ගියද



තුන් තිස් පැයේ ඇඬු කඳුළැලි….. වියලෙන්න
සිත් මංහලේ නැවතුණු බව ….......සිහිවන්න
ලත් සෙනෙහසේ හිමිකම මට …... පවරන්න 
හිත් මන්දිරේ සදහට ඔබ........... නවතින්න
පායන සඳේ අයිතිය කවුරුද ......ගන්නේ
මීදුමෙ සුදේ තැවරුම නැහැ නොව දෙන්නේ
සායම මලේ පැවරුම නැත හිමි ......වන්නේ
මා ගැන සෙනේ කවදද ඔබෙ අඩු වෙන්නේ
ඈතක ගියද මා ඉඳ හිට සිහි......... කරලා
දෝතක කවිද පා කර දෙනවද ......ලියලා
මේකුළු මතම මා ලමි පණිවිඩ ...... හදලා
මෑතක පැමිණ මා හමුවෙනවද .... රැකලා

ප්‍රියන්ති හන්සමාලි

24 October, 2015

ආදරයේ තවත් එක කතාවක්....



ඉස්සර වාගේ තුරුලේ ඉන්නට
අවසර නැතිමුත් ලොවට හොරෙන්
ඉස්සර වාගේ මා හමුවන්නට
නාවත් හිනැහී ආදරයෙන්
තාමත් මතකයිහිනැහුනු ඔය ඇස්
සෙනෙහස පුරවන් පොකුරු පිටින්
ඉඩ දෙනවාදෝ ඔබේම වෙන්නට
ඔය උනුහුම ලඟ එක මොහොතක්...
එය මට මුලු අහසක්...
ඉස්සර දවසක උනුසුම විද විද
ආදර ලොවකට පාර කියූ
සුන්දර සිහිනය ආයෙත් විඳිනට
එන්න යලිත් මා ලඟට කියූ
පෙම්බර ඔබ හැර වෙන අන් සිතකට
කිසිවිටෙකත් සිත වසඟ නොවූ
පින්බර දවසක ඔබෙ අත අරගමි
පෙම්බර විලසට සිහින මැවූ...
හීන දිගන්තය අද්දර ඉඳගෙන
ඔය නිල් නෙතු යුග දිහා බලන්
ඔය තුරුලේ සැතපී නැලවෙන්නට ආසයි
ඔය පපුතුර මගෙ මුහුන හොවන්
එන්නම් දිනයක ලස්සන උදයක
අලුත් ඉරක් යට ආදරයෙන්
අවසර දෙනුමැන ඔබේම වන්නට
මතු උපදින සැම බවයකමත්...


ජීවිතේ එක සුන්දර දවසක ආදරෙන් බැඳෙන මේ දෙන්නට අහේතුක හේතුවක් හින්දා වෙන්වෙන්න සිද්ද වෙන්නේ ඒ දෙන්නාවත් නොහිතපු විදිහට.දෛවය අපේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා තමයි, ඒත් හැම වෙලවෙම අසාධාරන වෙන්නෙත් නෑ. කාලය ගෙවිලා ගියාට පස්සේ මේ දෙන්නා ආපහු මුනගැහෙනවා. දෛවයේ තවත් සරදමක් හින්දාද කොහෙදෝ මේ වෙද්දිත්මේ දෙන්නාම තනිකඩයි. ඒත් මේ දෙන්නා ඒක දැනගෙන හිටියේ නෑ එතකොටත්. දෙන්නා දෙපැත්තකට වෙලා කල්පනා කරනවා. ගොඩක් අහින්සක විදිහට මේ ගෑණු ළමයා මේ මුල් වචන ටික ලියලා යවනවා පරණ ආදරේ ගැන මතක් කරලා.

ඉස්සර වාගේ තුරුලේ ඉන්නට
අවසර නැතිමුත් ලොවට හොරෙන්
ඉස්සර වාගේ මා හමුවන්නට
නාවත් හිනැහී ආදරයෙන්
තාමත් මතකයිහිනැහුනු ඔය ඇස්
සෙනෙහස පුරවන් පොකුරු පිටින්
ඉඩ දෙනවාදෝ ඔබේම වෙන්නට
ඔය උනුහුම ලඟ එක මොහොතක්...
එය මට මුලු අහසක්...

 එතකොට තමයි පිරිමි ලමයාටත් තේරුම් යන්නේ එයාලගේ ජීවිත කොයි තරම් වෙනස් වුනත් තාමත් ඒ දෙන්නාගේ ආදරේ නැවුම් කියලා. ගෑණු ළමයට උත්තරයක් විදිහට එයා මේ දෙවනි කවිය ලියලා එවනවා.

ඉස්සර දවසක උනුසුම විද විද
ආදර ලොවකට පාර කියූ
සුන්දර සිහිනය ආයෙත් විඳිනට
එන්න යලිත් මා ලඟට කියූ
පෙම්බර ඔබ හැර වෙන අන් සිතකට
කිසිවිටෙකත් සිත වසඟ නොවූ
පින්බර දවසක ඔබෙ අත අරගමි
පෙම්බර විලසට සිහින මැවූ...

කතාවේ ඉතුරු ටික ඔයාලටම හිතාගන්න පුලුවන් කියලා මම හිතනවා...

හීන දිගන්තය අද්දර ඉඳගෙන
ඔය නිල් නෙතු යුග දිහා බලන්
ඔය තුරුලේ සැතපී නැලවෙන්නට ආසයි
ඔය පපුතුර මගෙ මුහුන හොවන්
එන්නම් දිනයක ලස්සන උදයක
අලුත් ඉරක් යට ආදරයෙන්
අවසර දෙනුමැන ඔබේම වන්නට
මතු උපදින සැම බවයකමත්...

ඇත්ත, ආදරේ සුන්දරයි, ඇත්ත ආදරේ කවදාවත් නැතිවෙන්නෙත් නෑ. නැති කරවන්නත් බෑ.... 

රචනය:  මිනෝලි ලියනාරච්චි

28 September, 2015

ඔබ කැමති ද කියවන්න....?

මා ඔබට එක පොතක්, දෙදෙනෙක්! යන ලිපිය මේ බ්ලොග් අවකාශයෙන් කියවීමට ප්‍රකාශයට පත් කලා මට මතක ය. එය ඔබටත් නිසැකවම මතක ඇතුවාට සැක නැත. ඔබ එය නොකියවා ඇත්නම් මෙතනින් බලන්න.

ඉහත කී ලිපියේ සඳහන් පරිදී මේ ක්‍රියාවලියට දැන් ඔබටත් එක් විය හැකියි. ඔබ කවදාක හෝ පන්තියට ඇසෙන්නට පොතක් කියවා ඇතිද? එසේත් නැතිනම් වෙනත් අයෙකුට අසා සිටීමට, ඔබ පාඩම් කරන විට හඬ නගා පොත් කියවා ඇත. බොහෝ විට මේ කාර්ය සිදු වන්නේ මේ ආකාරයටයි. එනම් ඔබ කියවන පොත තවත් කෙනෙකු අසා සිටිනු ඇත. විශේෂය නම් ඔහු හෝ ඇය ඔබ කලින් කියවන විට අසා සිටි තැනැත්තා නොවීමයි.

ඔබ කියවන පොත තවත් ඔබ මෙන්ම පොත් කියවීමට ආසාවෙන් සිටින නමුත් කියවිය නොහැකි පාඨකයෙකුගේ කියවීමේ අයිතිය තහවුරු කිරීමක් බව ඔබ දන්නවාද? එය එසේය. නමුත් මෙය බුද්දිමය දේපල හිමිකම් පනත උල්ලංගනය කිරීමක් නොවේ. මෙය වානිජ්‍ය ක්‍රියාවලියක් ද නොවේ. නමුත් මේ වෙනුවෙන් නිෂ්පාදිත පිරිවැයක් නැතුවාම නොවේ.

මෙකී වියදම් කෙසේ හෝ සපුරා ගත්තද තවත් එක් ගැටලුවක් පවතී. එනම් මානව සම්පත් සපුරා ගැනීමේ ගැටලුවයි. මේ පෝස්ටුවෙන් මා එකී මානව සම්පත් සපුරා ගැනීම අපේක්ශා කරයි. එනම් මේ බ්ලොග් අවකාෂයේ සැරිසරන ඔබට මේ සඳහා සම්බන්ද වීමේ හැකියාව ලබා දීමයි. ඔබට හැකි වේලාවක ඔබ සිටින නිහඬ පරිසරයක සිට අදාල පොත පටිගත කොට යලි අප වෙත ලබා දීම කල යුතුය. එහිදී අනුගමනය කල යුතු තාක්ෂනික ක්‍රමවේදයන් පිලිබඳව ඔබව පූර්න දැනුවත් කිරීමක් කරනු ලැබේ.

පොතක් කියවා තවත් පොතක් කියවිය නොහැකි අයෙකුගේ කියවීමේ ආශාව සන්සිඳවන්න ඔබත් කැමති නම් කරුනාකර අප හා සම්බන්ද වන්න.ඒ සඳහා ඔබ විසින් කියවූ පොතක කුඩා කොටසක හඬපටයක් සමග ඔබේ තොරතුරු  ahasenenna@gmail.com යන ලිපිනයට එවන්න. අදාල හඬ පටය ඔබේ ප්‍රදාන සුදුසුකම ලෙස සලකනු ලැබේ. ඊට අමතරව ඔබේ පරිගනක හැකියාව ද මේ සඳහා අත්‍යවශ්‍ය වන බව ද දැන්විය යුතු ය. ඔබේ තොරතුරු සමග ඔබ පහසුවෙන් සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් ද ලබාදීමට කාරුනික වන්න.ඔබ විසින් යොමු කරන හඬපට පිලිබඳ සහ ඔබේ පරිගනක හැකියාව පිලිබඳ සැලකිල්ලට ගෙන මේ සඳහා ඔබව තෝරා ගැනීමෙන් පසුව තාක්ෂනික පුහුනුව සඳහා රාවතාවත්ත මොරටුව පිහිටා ඇති ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාදිධාරී මන්ඩලයේ මූලස්තානය ට පැමිනිය යුතු ය. මසකට වරක් ඔබ විසින් කියවූ පොත් ලබා දිය යුතු අතර ඒ සඳහා ඉරිදා හැර සතියේ වෙනත් ඕනෑම දිනයක පැමිනිය හැකි ය.
ඉතිරි සියලු තොරතුරු ඔබව තෝරා ගැනීමෙන් පසු ලබා දෙනු ඇත.

ප.ලි.
මෙය දැන්වීමක් නොවේ. දැනුවත් කිරීමකි.
මේ ගැන කැමැත්තක් ඇති අයටත් කියන්න.